‘දිට්වා’ සුළි කුණාටුව මහ වැසි සහ ද සුළං ද සමඟ කළ හානිය සුළුපටු නොවෙයි. සාගරයේ අවපීඩන තත්ත්වයක් නිසා හටගත් ‘දිට්වා’ කැරැකෙමින් වර්ධනය වෙමින් මහා විනාශයක් සිදු කළේ, අප රටට ඇතුළු වීමෙනි. එය කැරැකි කැරැකී ඉන්දියාවට ගියේ ජීවිත බිලි ගනිමිනි. ‘දිට්වා’ සිය ප්‍රබලත්වය කොතරම්දැයි මුළු ලොවටම දකින්න සැලැස්වීය.‘දිට්වා’ සුළි කුණාටුව නිසා දින දෙක තුනක් නොකඩවා වැසි ඇද හැලෙද්දී, අප කොතරම් අසරණ වුණාදැයි අමුතුවෙන් කිවයුතු නැත. ඒත් එක දිගට දින 10 ක්, දින 100 ක් නොව, අවුරුදු ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු මිලියන ගණනක් වැස්සොත් ඒක කොහොම වේවිද? හිතාගන්නවත් බැහැ නේද? ඒත් එවැනි මහා වැස්සකට අප පෘථිවිය මුහුණ දුන් බව විද්‍යාඥයන්ගේ අදහසයි. ඒත් එහෙම වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් වැස්ස හට ගන්නේ පෘථිවියේ ජල වක්‍රයට අනුව, වැස්ස ලෙස යළි යළිත් ලැබෙන්නේ වාෂ්පීකරණයට ලක් වන ජලයයි. එසේ නම්, මිලියන ගණනක් එක දිගට වැස්සක් ඇති වෙන්නේ කොහොමද? ඒ ගැන පැහැදිලි කරන්නයි, මේ සූදානම. වාසනාවට, මිලියන ගණනක් එක දිගට වැස්ස ඇද හැලුණු කාලයේ මනුෂ්‍යයන් වන අප සිටියේ නැත. විද්‍යාඥයන්ට අනුව, අතීතයේ, ඩයිනසෝරයන්ට පෘථිවියේ රජ කිරීමට පාර කැපුවේ මෙම මහා වැස්සය.
මීට වසර මිලියන 232 කට පමණ පෙර (ඩයිනෝසෝරයන් බිහිවුණු මුල් අවධියේදී) පෘථිවිය මත ධාරාණිපාත වර්ෂාවක් එක දිගට නොකඩවා වසර මිලියන 2 ක පමණ කාලයක් පුරා ඇද හැලෙන්න විය. විද්‍යාඥයන් මෙම සිදුවීම නම් කර ඇත්තේ කානියන් ප්ලූවියල් සංසිද්ධිය යනුවෙනි. කානියන් ප්ලූවියල් සංසිද්ධිය (Carnian Pluvial Event) යනු පෘථිවි ඉතිහාසයේ, ත්‍රියාසික යුගයේ අවසන් කාලායේ, කානියන් අවදියේ දී (වසර මිලියන 234 සිට 232 දක්වා පමණ කාලය) පෘථිවිය කැලඹූ සුවිශේෂී ගෝලීය දේශගුණික විපර්යාසයකි. මෙම සංසිද්ධිය, වසර මිලියන 1 සිට 2 දක්වා කාලයක් පුරා පැවති බවත්, පෘථිවි ජීවීන්ට සහ පරිසර පද්ධතිවලට අති විශාල බලපෑමක් එල්ල කළ බවත් විද්‍යාඥයන්ගේ අදහසය.
මෙම අවදියේ, පෘථිවි භූතල අද අපට දකින්න ලැබෙන ආකාරයට මහාද්වීප ලෙස වෙන්වී තිබුණේ නැත. තිබුණේ එක් දැවැන්ත මහාද්වීපයකි. මේ දැවැන්ත මහාද්වීපය පැන්ජියා (Pangaea) ය. කානියන් ප්ලූවියල් සංසිද්ධියට පෙර, පෘථිවියේ පැවැතියේ දැඩි වියළි කාලගුණයකි. හිටිහැටියේ ඒ වියළි කාලගුණය අවසන් විය. හදිසියේම මහ වැසි ඇද හැලෙන්න විය. විද්‍යාඥයන්ට අනුව එය සිදුවූයේ මෙසේය.
අතීතයේ පැන්ජියා මහද්වීපයේ ගිනි කඳුවලින් පමණක් පිරුණු පළාතක් විය. භූ විද්‍යාඥයන් මෙම පළාත නම් කර ඇත්තේ රැන්ගෙලියා (Wrangellia) යනුවෙනි. අද (මහද්වීප ලෙස භූමිය කැඩී වෙන්වී ගොස් ඇති විට) රැන්ගෙලියා නමැති මෙම මහා ගිනිකඳු පළාත (Wrangellia Large Igneous Province) අයත් වෙන්නේ, ඇලස්කාව සහ බ්‍රිතාන්‍ය කොලොම්බියා වෙරළ තීරයටය. මේ පළාතේ ඇති ගිනි කඳු සියල්ල එකවරම බිහිසුණු ලෙස පුපුරා යන්නට නැතිනම් විදාරණය වීමට පටන් ගත්තේය. ගිනි කඳු මෙසේ පුපුරා යද්දී, වායුගෝලයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු මුදා හැරීම සිදුවිය.
හරිතාගාර වායු සාන්ද්‍රණය මෙසේ වැඩිවීම ගෝලීය උණුසුමට හේතු විය. (සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් හෝ 4 කින් ඉහළ ගියේ යැයි විශ්වාස කෙරේ.) එවිට සාගර උණුසුම් විය. සාගර ජලය වැඩි වැඩියෙන් වාෂ්ප වීමට පටන් ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් බිහිසුණු අන්දමින් මොසම් වැසි වැනි වර්ෂා රටා මුසුවුණු කාලගුණයක් නිර්මාණය වීමට පටන් ගත්තේය. වසර මිලියන ගණනක් මහ වැසි ඇද හැලෙන්න වූයේ ඉන් පසුවය.
මහා පැන්ජියා මහාද්වීපය පුරා අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් (අම්ල වර්ෂා ඇතුළුව) වසර මිලියන 1-2 ක පමණ කාලයක් පුරා ඇද හැලෙන්න විය. මෙවැන්නක් සිදුවුණු බව විද්‍යාඥයන් දන්නේ කෙසේද? විද්‍යාඥයන්; නිවැරදිව කීවොත් භූ විද්‍යාඥයන් මේ බව නිවැරදිව දන්නේ ඔවුන්ට ලැබුණු භූ විද්‍යාත්මක සාක්ෂි අනුවය. මේ සාක්ෂි හමුවී ඇත්තේ සිදු කළ කැණීම්වලින් හමුවුණු කානියන් අවදියේ වූ භූ ස්තර අධ්‍යයනය කිරීමෙනි.
අඳුරු සිලිසික්ලාස්ටික් පාෂාණ (Dark Siliciclastic Rocks) එසේ හමුවුණු ප්‍රබල සාක්ෂියකි. යුරෝපයේ (වර්තමානයේ ඇල්ප්ස් කඳුකරයේ සහ එංගලන්තයේ), ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ පවා සාමාන්‍ය වියළි කාබනේට් පාෂාණ ස්තර අතර අසාමාන්‍ය ලෙස තෙත් තත්ත්වයන් නිරූපණය කරන අඳුරු, රොන් මඩ සහිත පාෂාණ ස්තර සොයාගෙන ඇත. මහා වැස්ස හටගත් කාලය සහ එය අවසන් වූ කාලය ඒ අනුව, නිර්ණය කර ගැනීම සිදුවිය.
නොකඩවා ඇද හැලුනු මහ වැසි හේතුවෙන්, ගොඩබිම අධික ලෙස ඛාදනය වීම සහ අවසාදිත ගලා ඒම වැඩිවීම පිළිබඳ සාක්ෂි (උදා: මුහුදු අවසාදිතවල මඩ බහුල ස්තර) ද විද්‍යාඥයන්ට හමුවී ඇත. ඒ කාලයේ ජීවත් වුණු ජීවීන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට පමණක් නොව, ඇතැම් ජීවීන් මිහිමතින් සඳහටම සෝදා ඉවතක් කිරීමට පවා මේ මහා වැස්ස සමත් වන්නට ඇත. ඇමනොයිඩාවන් (ammonoids) සහ කොනොඩොන්ට් (conodonts) වැනි ජීවීන් විශාල වශයෙන් වඳ වී යෑම සිදුවිය. ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් ඇති වූ අම්ල වර්ෂා, උණුසුම සහ පස ඛාදනය වීම නිසා පැරණි, වියළි දේශගුණයට හුරු වූ බොහෝ ශාක හා සත්ව විශේෂ වඳ වී ගියේය. ඈත අතීතයේ, පාෂාණ ස්තර අතර, අධික තෙත් සහිත තත්ත්වයන් යටතේ පමණක් සෑදෙන අඳුරු රොන් මඩ සහ පස් වර්ගවලින් යුත් විශාල ස්තර ගෝලීය වශයෙන් සොයා ගැනීමට ද විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මෙම ස්තරවලින් පෙන්නුම් කරන්නේ එම වසර මිලියන දෙකක කාලය තුළ වසරකට ලැබුණු මුළු වර්ෂාපතන ප්‍රමාණය පෙරට වඩා අතිශයින් ඉහළ බවය.
පැවැති ජීවීන් වඳ වී යද්දී, හිස් වුණු පරිසර පද්ධතියේ නව ජීවීන් බිහිවීම සිදුවිය. මෙය ද වසර මිලියන ගණනක් තිස්සේ සිදුවුණු සංකීර්ණ ක්‍රියාවලියකි. කානියන් ප්ලූවියල් සංසිද්ධියට පෙර ද මිහිමත ඩයිනසෝරයන්ගේ බිහිවීම සිදුවී තිබුණි. එහෙත්, විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, මෙම සංසිද්ධියෙන් පසු, ඩයිනසෝරයන්ගේ සංඛ්‍යාව සහ විවිධත්වය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත. තෙත් සහ උණුසුම් තත්ත්වයන්ගෙන් පසුව ඇති වූ වියළි දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීමට ඩයිනෝසරයන් වඩාත් හොඳින් අනුවර්තනය වුණු බව ද විද්‍යාඥයන්ගේ අදහසය.
නූතන පෘෂ්ඨවංශීන්ගේ සම්භවය ද සිදුවිය. කටුස්සන්, කිඹුලන්, කැස්බෑවන්, ක්ෂීරපායීන්ගේ (mammals) මුතුන් මිත්තන් සහ නූතන උභයජීවීන් (lissamphibians) වැනි ප්‍රධාන ගොඩබිම් පෘෂ්ඨවංශී කණ්ඩායම් බිහිවීම සඳහා මෙම සංසිද්ධිය ඉවහල් වන්න ඇතැයි පැවැසෙයි. සාගරයේ පාවෙන කැල්සිෆයර් (pelagic calcifiers) සහ නූතන කොරල්පර වැනි නව සමුද්‍ර ජීව ආකාර ද බිහිවිය. ඒ අනුව, කානියන් ප්ලූවියල් සංසිද්ධිය යනු ත්‍රියාසික යුගයේ පැවති ප්‍රධාන පාරිසරික සහ ජීව විද්‍යාත්මක හැරවුම් ලක්ෂ්‍යය බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් ඇති වූ දැවැන්ත දේශගුණික විපර්යාස (අධික වර්ෂාපතනය සහ ගෝලීය උණුසුම) මගින් පරිසර පද්ධති අවුල් කරනු ලැබුව ද, එය ඩයිනෝසර යුගයේ උදාව සහ නූතන පෘෂ්ඨවංශී සත්ව විශේෂවල විකිරණය සඳහා අවශ්‍ය පරිසරය සකස් කළේය. සාමාන්‍යයෙන් වැස්ස හට ගන්නේ පෘථිවියේ ජල වක්‍රයට අනුව, වැස්ස ලෙස යළි යළිත් ලැබෙන්නේ වාෂ්පීකරණයට ලක් වන ජලයයි. එසේ නම්, මිලියන ගණනක් එක දිගට වැස්සක් ඇති වෙන්නේ කෙසේද? මෙය ඉතාමත්ම හොඳ තාර්කික ප්‍රශ්නයකි. වැස්ස ඇතිවීම පාලනය වන්නේ පෘථිවියේ ජල චක්‍රය (Hydrological Cycle) මගිනි. එසේ වුවත්, කානියන් ප්ලූවියල් සංසිද්ධියේදී, ‘මිලියන දෙකක් තිස්සේ එක දිගට වැස්ස ඇතිවීම’ යන ප්‍රකාශය, සාමාන්‍යයෙන් අප දකින දෛනික හෝ සෘතුමය වැසි රටාවන්ට වඩා වෙනස් ආකාරයකින් අවබෝධ කරගත යුතු යැයි ද විද්‍යාඥයන්ගේ අදහසය.
- ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි

0 Comments